ජලභීතිකා එන්නතේ ජාතික අවශ්‍යතාවය සැපිරේ..

මේ වන විට රට තුල ජලභීතිකා එන්නතෙහි දැඩි හිඟයක් උද්ගත වීම මුල්කොට රට තුල ඇති වී ඇති ජීවිත රැසක් අහිමි වීමේ අවධානම දුරු කරමින් එක්සත් රාජධානියේ පිහිටි Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයත්, සේරුවිල මංගල රාජමහා විහාරය සහ ශ්රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් Save A Baby සංවිධානයත් එක වී දිවයිනට ගෙන් වූ මාසයක් සඳහා ජලභීතිකා එන්නතේ (Anti Rabies Serum) ජාතික අවශ්යතාවය වන ඇමෙරිකානු ඩොලර් 26,000ක් වටිනා ජලභීතිකා එන්නත් 5000ක්, සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්රයන් වහන්සේගේ සුරතින් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා වෙත අද සන්ධ්යාවේ දී බාර දීම සිදු විය. ඒ අනුව ජූලි මස 07 දින දක්වා මේ සඳහා වන ජාතික අවශ්යතාවය සම්පූර්ණ වන අතර ඉදිරි මාස සඳහා දායකත්වයන් දැරීමට කැමති සංවිධාන සිටිත් නම් සම්බන්ධ වන ලෙස Save A Baby සංවිධානය ආරාධනා කරයි. මේ මොහොතට Save A Baby සංවිධානයේ ලේකම් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නවජන්ම ළදරු රෝග විශේෂඥ වෛද්ය L. P. C. සමන් කුමාර මහතා, ශ්රද්ධා මාධ්ය ජාලයේ ප්රධාන විධායක නිලධාරී ප්රසාද් බිනුවර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ජලභීතිකා රෝගය ක්ෂීරපායී සතුන් සපා කෑම නිසා හෝ සතුන් නිසා ඇතිවන සීරීම් මගින් ඔවුන්ගේ ඛේටයේ අන්තර්ගත ජලභීතිකා වෛරසය ශරීරගත වීමෙන් වැලදෙන ඉතා වේදනාකාරී මරණයක් උරුම කොටදෙන රෝගී තත්ත්වයකි. සායනික රෝග ලක්ෂණ පහල වූ විට මේ අයුරින් වේදනාකාරී ලෙස මරණයට පත්වීමේ සම්භාවිතාව 100%කි. එනම් එම වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පහළ වීමට පෙර මුල් අවස්ථාවේ දී ම අදාළ එන්නත ලබා නොදුනහොත් ඉතා වේදනාකාරී මරණයක් උරුම වීම සිදු වේ. එනිසා මේ එන්නත දිවි සුරකින ඉතා වැදගත් එන්නතකි.
එනිසා මේ පිළිබඳ ව අවදානය යොමු කොට මූල්යමය දායකත්වයන් දැරූ Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයේ සභාපතිතුමන් ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන්ටත් ජාතියේ ප්රණාමය හිමි වේ. මෙමගින් දහස් ගණනක ජනතාවකගේ දිවි සුරැකෙනු ඇත.
Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයෙන් Save A Baby සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ එංගලන්තයේ පදිංචි විශේෂඥ වෛද්ය කිරණ අරඹගේ මහත්මාටත් මෙම එන්නත මිල දී ගැනීමේ දී අදාළ නිෂ්පාදන ආයතනය හා සම්බන්ධ වී රටේ පවතින තත්ත්වය පැහැදිලි කොට ඇස්තමේන්තුගත මුදලට වඩා ඇමෙරිකානු ඩොලර් 10,000ක් අඩුවෙන් මෙම එන්නත් ලබා ගැනීමට කැපවී ක්රියා කළ ෆයිසර් ආයතනයේ විද්යාඥයෙකු ලෙස සේවය කරන ඕස්ට්රේලියාවේ පදිංචි රවී හේවාවිස්ස මහත්මාටත් එන්නත් තොගය නිශ්කාෂණයට කැපවී ක්රියාකළ සෞඛ්ය අමාත්යංශයේ වෛද්ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ චන්දන විජේසිංහ මහත්මා, පුෂ්පකුමාර මහත්මා, වෛද්ය අම්බානි මහත්මා ඇතුළු සැමටත් ඉන්දියාවේ වින්ග්ස් බයෝ ප්රඩකස් ආයතනයේ (Vins Bio Products Ltd) වරුන් පොන්ගොටි (Varun Ponugoti) මහතාටත් Save A Baby සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයටත් වෛද්ය තාක්ෂණික කමිටුවටත් කෘතඥතාවය හිමි වේ.
මේ රෝගය පිළබඳ ව රජයේ මහජන සෞඛ්ය පශු වෛද්ය සේවා වෙබ් අඩවියේ මගින් ඵල කොට තිබූ සටහනක් පහත දැක් වේ.
“ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයකි. මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල) , සතා සපා කෑමෙන්, සීරීමක් ඇති තැනකින්, සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුඵු වීමෙනි. ශ්රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්රධාන වාහකයා සුනඛයා වේ.
සතෙකු සපා කෑ විගස නොපමාව වෛදය ප්රතිකාර සදහා යොමු වීම අත්යවශ්ය වේ. අවශ්ය එන්නත් නිසි කලට ලබා නොගැනීම හේතුවෙන් මාරාන්තික ජලභීතිකා රෝගයට ගොදුරු විය හැකිය. ලොවපුර ජනගහනයෙන් වසරකට මිනිසුන් 55000 කට අධික ප්රමාණයක් ජලභීතිකා රෝගය වැලදීම හේතුවෙන් මිය යයි. බහුතර මානව මරණ සංඛ්යවක් (95% ක් පමණ) ආසියානු හා අප්රිකා කලාප වලින් වාර්තා වේ.
ජලභීතික වෛරසය වෛරසය රැබ්ඬොවයිරිඬ් (Rhabdoviridee) කුලයට අයත් ලිසවයිරස් (Lyssavirus) ගණයේ වෛරසයකි. එය සිලින්ඩරාකාර ස්වරුපයක් ගන්නා අතර පිටත ලිපිඩ අවරණයකින් සැදුම්ලත් RNA වෛරසයකි.
හිසරදය හා උණ ජලභීතික රෝගයේ මුලින්ම ඇතිවන රෝගයේ මුලින්ම ඇතිවෙන රෝග ලක්ෂණ වන අතර පසුව එය දරුණු හැසිරීම්, පාලනය කළනොහැකි කලබලකාරී හැසිරීම් දැක්වීම, ජලයට ඇති අකමැත්ත ආදී ලක්ෂණ දක්වා වැඩි වේ. අවසානයේ සිදුවන ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් මරණය සිදු වේ.
ශ්රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්රධාන වාහකයා සුනඛයා වේ. එනමුත් බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකිය.
ශ්රී ලංකාව තුල වසරකට සමාන්යයෙන් ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්රමාණයක් වාර්තා වේ. එයින් වැඩිපුර මරණ සංඛ්යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගිනි. ශ්රී ලංකාවේ ජලභීතික රෝගයට ප්රධාන හේතුව වන්නේ සුනඛයන් එම රෝහයට එරෙහිව එන්නත් සිදු නොකිරීම සහ රොගීන් වෛද්ය ප්රතිකාර සදහා යොමු නොකිරීම. නිසි පරිදි වෛද්ය ප්රතිකාර ලබා ගන්නේ නම් ජලභීතික රෝගය සියයට සියයක්ම වලක්වා ගත හැකි රෝගයකි. ජලභීතිකා රෝගය වැලැක්වීම සදහා ප්රතිකාර රජයේ රෝහල් මගින් නොමිලේ ලබා ගහ හැකිය.
ජලභීතිකා රෝගය මර්දනය සදහා වාර්ෂිකව සුනඛයින් එන්නත් කිරීම ශ්රී ලංකාව තුල නිර්දේශිත වේ. 1975 වසරේ සිට ක්රියාත්මක කරනු ලැබූ ජලභීතිකා රෝග මර්දන ක්රියාකාරකම් වල ප්රතිපලයක් ලෙස මානව ජලභීතිකා රෝගය සැලකිය යුතු ප්රමාණයකින් අඩු විය. 1973 දී 377 ක්ව පැවති මානව මරණ සංඛ්යාව 2014 වර්ෂය වනවිට 19 දක්වා අඩු විය.”
(උපුටාගැනීම සහ මෙම රෝගය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා – http://www.rabies.gov.lk/sinhala/aboutrabies.php )